ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව එහි ආකල්ප සංවර්ධන මූලය ශක්තිමත් කරනු පිණිස දියත් කළ තවත් වැඩසටහනක් 2025/08/17 දින සන්ධ්‍යා යාමයේදී හේන්පිට සේවා පියස පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ප්‍රජාවගේ සංගීත රසාස්වාදය ඉහළ නැංවීම මගින් යහපත් සමාජයක් නිර්මාණය කරගැනීමට අත්වැලක් වීම මෙහි මූලික අරමුණයි.
ඇඹුල්ගම රාවණා පුත්‍ර සමාජ සේවා පදනම විසින් සංවිධානය කළ මෙහි සම්බන්ධීකරණ කටයුතු වසමේ ග්‍රාම නිලධාරී ජානක බෝගොඩපොල මහතා හා හිටපු ආර්ථික සංවර්ධන නිලධාරී දිනුක චතුරංග මහත විසින් සිදුකරන ලදී.
මෙම මියැසි ප්‍රතිභාව ප්‍රභාමත් කරන ලද්දේ විශාරද නවෝද් සිරිවර්ධන මහතා විසිනි.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මහතා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජල්තර කොට්ඨාසයේ සභික නිශාන්ති රණසිංහ මහත්මිය,හංවැල්ල ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.කේ සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා වසමේ සියළුම රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා හේන්පිට විෂන් වයිබ් යෞවන සමාජයේ සාමාජික දුවා දරුවන් සියයක පමණ පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

















