හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ලට පිවිස වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය හා තිස්පස් නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාව 2025 ජූලි මස 18 හා 19 යන දෙදින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිලි පරිශ්‍රයේදී පිංසිත් පෙරදැරිව සාර්ථකව පවත්වා අවසන් විය.
හෝමාගම පුරාණ විහාරාධිපති, බස්නාහිර පළාතේ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), හේවාගම් කෝරලයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, ශාස්ත්‍රපති පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි නාහිමිපාණන් වහන්සේ, ගොඩගම පුරාණ විහාරාධිපති, හෝමාගම හේවාගම් කෝරළයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සඡ්ඤායනය සඳහා හෝමාගම සතිපොළ මංසන්ධියේ සිට අලංකාරවත් පෙරහැරකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වැඩම කළහ.
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු හා සෙසු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සේවයේ නියුක්තව සිට විශ්‍රාම ගිය හා ස්ථානමාරු වී ගිය ප්‍රාදේශීය ලේකම්වරු හා සෙසු නිලධාරීන්, කාර්යාලයේ වර්තමාන ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මැතිතුමා ප්‍රමුඛ සියළුම මාණ්ඩලික හා සෙසු නිලධාරීන්, ප්‍රාදේශීය ස්වේච්ඡා හා සිවිල් සංවිධානවල නියෝජිතයින්, වෙළඳ ප්‍රජාව, මාධ්‍ය සහෘදයින් හා ප්‍රදේශවාසී ජනතාව මේ සඳහා සහභාගි වූහ.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම පිංකම සංවිධානය විය.






























