ප්‍රවීන සංගීතවේදී නැසීගිය සරත් දසනායක මහතාගේ 83 වන ජන්ම දිනය සමරමින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික හා කලා කටයුතු අංශය විසින් සංවිධානය කළ"මියුරු කල්පනා" සංගීතමය වැඩසටහන 2025-08-13 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
සිංහල සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවයක් කරමින් එහි සාධනීය විප්ලවයකට මග පෑදු සංගීතඥ සරත් දසනායක මහතාගේ සංගීත භාවිතාව සහ එහි අපූර්වත්වය කථිකාවට බඳුන් කරනු පිණිස ප්‍රවීන කලා විචාරක හා සරසවිය සිනමා පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයජිත් කුමාර මහතා, ප්‍රවීන හා සම්මානනීය සංගීතඥ ගයාන් ගණකධාර මහතා මෙන්ම දසනායකයනගේ දෙටුපුත් ප්‍රවීන සංගීතවේදී රංග දසනායක මහතා සම්පත්දායකත්වය සඳහා ඇරයුම් ලැබූහ.
සරත් දසනායක මහතා විසින් සංගීත්වත් කරන ලද චිත්‍රපට ගී, ටෙලි නාට්‍ය ගී, සරල ගී,ජන ගී හා ළමා ගී ඇතුළු විවිධ ශානරයන්ගේ ගීත රැසක් කර්ණ රසාලිප්තව ගායනා කරන ලදී.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර,ප්‍රධාන ආරාධිතයින් ලෙස ප්‍රවීන ගීත රචක සෝමපාල ලීලානන්ද, ප්‍රවීන ගායන ශිල්පීන් වන රෝහණ බෝගොඩ හා මාරියෝ ආනන්ද ආදී කලාකරුවෝ මීට සහභාගී වූහ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයන ලදී.
මෙම අවස්ථාව සඳහා හෝමාගම හේවාගම් කෝරළය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ධුරන්ධර පුජ්‍ය කොටිගල නන්දරතන හිමි, අතිරේක දිස්ත්‍රික් ලේකම් නදීකා කෞෂල්‍යා මහත්මිය, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරි ජී. ජයවීර මහතා,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අශෝක කුමාර මහතා, රත්මලාන ප්‍රාදේශිය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය,කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා,රත්මලාන සහකාර ප්‍රාදේශිය ලේකම් ප්‍රභාශ්‍රී මධුරංගී මහත්මිය සහ විශාල ප්‍රේක්ෂක පිරිසකගේද සහභාගීත්වයෙන්ද මෙම වැඩසටහන අලංකෘත විය.
මෙම උත්සවය හා සමගාමීව ප්‍රවීන සිනමා ගීතරචක, තිරනාටක රචක සෝමපාල ලීලානන්ද මහතා විසින් කලා ක්ෂේත්රයට කරන ලද අපරිමිත සේවය අගයමින් විශේෂ උපහාරයක්ද පිරිනමන ලදී .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්ප මූලයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය සංස්කෘතික හා කලා කටයුතු අංශය සහ නිලධාරීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.























